Sinhala Font

Powered by Blogger.


14 August 2011 
මෙරට සිටි ඉංග්‍රීසි ජාතිකයන් එක් කාලයකදී කෝපි අස්වැන්න උඩරට සිට පහතරටට හෙවත් කොළොම්පුරට ගෙන ආවේ ගොන් බානක් බැදි බර කරත්තවලිනි.
කඳු පල්ලම් බැස ගෙන උඩරට මාර්ගය ඔස්සේ කෝපි හොණ්ඩර ගාණක් පටවාගෙන පැමිණීම අති දුෂ්කර විය. මෙම දුෂ්කරතාව වඩාත් වැඩි වූයේ වැසි දිනවලදී ය.
සතියකට ආසන්න කාලයක් උඩරට සිට කොළඹට පැමිණීමට ගතවූ කාලය වැසි දිනවලදී දෙගුණ තෙගුණ විය. කරත්තවල බැඳි ගවයන් අසනීප වීමත් වර්ෂා දිනවලදී මාර්ගය අබලන් වීමත් නිසා ගැටලු රැසක් මතු විය.
මේ නිසා උඩරට සිට කොළඹ දක්වා කඩිනමින් වැඩිපුර කෝපි ප්‍රමාණයක් ගෙන ඒමට හැකි මාර්ගයක් වෙත බ්‍රිතාන්‍ය ජාතිකයෝ අවධානය යොමු කළහ.
ඒ අනුව මෙරට දුම්රිය සේවයක් ඇරැඹීමට ඔවුහු සාකච්ඡා කළහ. ඒ සාකච්ඡාව පැවැත්වූයේ 1845 ඔක්තෝබර් මස කොලින් කැම්බල් ආණ්ඩුකාරයාගේ පාලන සමයේ දී ය.
ඒ අනුව එම මාසයේ දී ම ‘The Ceylon Railway Company’ (ලංකා දුම්රිය සමාගම) නමින් සමාගමක් ලන්ඩන් නුවර ලියාපදිංචි කෙරිණි. මෙම සමාගමේ පරමාර්ථය වූයේ බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වන ලංකාවේ විශාල ආර්ථික ප්‍රගතියක් පෙන්නුම් කරන හෙයින් එය වඩාත් ක්‍රමවත් කිරීම පිණිස දුම්රිය ගමනාගමනයක් ඇති කිරීමයි.
මෙරට දුම්රිය මාර්ග තැනීමේ මහා උත්සවය 1858 අගෝස්තු මස 03 වැනිදා පවත්වන ලදී.
මංගල පස් පිඩැල්ල කැපීම සඳහා තෝරා ගත්තේ මරදාන හා දෙමටගොඩ දුම්රිය ස්ථාන අතර ලෝකෝ හන්දියේ ගල් අඟුරු මඩුව අසල ප්‍රදේශයකි. එම භූමිය එකල කැලෑවෙන් වැසී තිබිණි.
මෙම උත්සවයේ ප්‍රථම පස් පිඩැල්ල කපන ලද්දේ ලංකාවේ ආණ්ඩුකාර ධූරය දැරූ ශ්‍රීමත් හෙන්රි වෝඩ් ය.
මෙම ඓතිහාසික අවස්ථාව බ්‍රිතාන්‍ය ජාතික ‘පාර්ටින්’ නම් ඡායාරූප ශිල්පියකු විසින් රූපගත කරන ලදී.
ආරම්භයේ දී රාගම දක්වා මාර්ගය තැනීමට කටයුතු යෙදිණි.

පටු දුම්රිය මගේ ධාවනය වූ වාෂ්ප දුම්රියක්

නමුත් කැලණි ගඟ හරහා පාලමක් ඉදි කිරීම මෙහිලා බැරෑරුම් කටයුත්ත විය. එසේ ම මුතුරාජවෙල හරහා භූමිය සැකසීම ද සුළු පටු කරුණක් නොවී ය.
1864 අගෝස්තු මාසය වන විට කොළඹ පර්යන්ත දුම්රිය ස්ථානයේ සිට අඹේපුස්ස දක්වා දුම්රිය මඟ තනා අවසන් කරන ලදී. එහි දුර සැතපුම් 34 කි.
මෙම මාර්ගය තැනීමේදී තවත් අසීරු කර්තව්‍යයකට මුහුණදීමට සිදුවිය. ඒ මහා ගල් පර්වතයක් හා ගල් මිශ්‍ර මහා කන්දක් හරහා දුම්රිය මඟ එළීමට සිදුවීම ය. එහිදී පළමු කළු ගල් කන්ද විඳිමින් එයින් බිම් ගෙයක් සකස් කෙරිණි.
මෙම මාර්ගයේ තිබූ අපූර්ව අත්දැකීම වූයේ කැලණි ගඟ මතින් ගමන් කිරීම ය. අඩි 600 ක් දිග යකඩ පාලම ඔස්සේ ගමන එක් අතකින් බිය උපදවන්නක් විය.
පරීක්ෂණ චාරිකාවක් ලෙසින් මෙරට ප්‍රථම දුම්රියක් ධාවනය කරන ලද්දේ 1864 දෙසැම්බර් මස 27 වැනිදා ය. ඒ කොළඹ පර්යන්ත දුම්රිය නැවතුම් පොළේ සිට අඹේපුස්ස දක්වා ය.
මේ ආරම්භක ගමන් වාරය සඳහා රාජකීය අමුත්තා ලෙසින් බෙල්ජියමේ ඔටුන්න හිමි බ්‍රැවනිව් ආදිපාදවරයා සහභාගි විය. එතුමා දුම්රියට ගොඩවූයේ වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙනි.
ප්‍රධාන ඉංජිනේරු ජී.එල්. මෝල්ස්ඩන් ප්‍රථම දුම්රිය ධාවනය කෙළේ ය.
දුම්රිය ආරම්භක යුගයේ ධාවනය වූ වාෂ්ප දුම්රිය එන්ජිමක්

කොළඹත් - අඹේපුස්සෙත් හොඳ මට්ටමේ දුම්රිය ස්ථාන දෙකක් ඉදි කිරීමට හැකි වූ අතර මහර (රාගම) හෙනරත්ගොඩ (ගම්පහ) හා වේයන්ගොඩ සමාන්‍යය මට්ටමේ දුම්රිය ස්ථාන ඉදිවිය.
ප්‍රථම මඟී දුම්රිය 1865 ඔක්තෝම්බර් 21 වැනිදා ධාවනය කෙරුණි.
එම ගමනේදී මඟීහු 84 දෙනෙක් ගමන් කළහ.
ඉතා සාර්ථක මඟී ගමනකින් පසු කොළඹ සහ අඹේපුස්ස අතර දුම්රිය ධාවනය දිනපතාම සිදුවිය. එසේ කොළඹ අඹේපුස්ස අතර දුම්රිය ධාවන කටයුතු සිදුවෙද්දී අඹේපුස්ස සිට පොල්ගහවෙල දක්වා දුම්රිය මාර්ගය තැනීමේ කටයුතු ආරම්භ කෙරිණි.
1867 වසරේ අපේ‍්‍රල් මස 25 දින වන විට මහනුවර දක්වා දුම්රිය මඟ තනා අවසන් කරන ලදි.
පසුදින එනම් 26 වැනිදා ප්‍රථම සේවා දුම්රිය මහනුවර දක්වා ධාවනය කෙරිණි. එය ඉතා සාර්ථක විය.
මේ සාර්ථක ගමනින් පසු ප්‍රථම නිරීක්ෂණ චාරිකාවට දින යොදා ගැනුණි.
කොළඹ සිට අඹේපුස්සට ගිය මංගල චාරිකාව

ඒ අනුව කොළඹ සිට මහනුවර දක්වා ප්‍රථම චාරිකා දුම්රිය 1867 වසරේ අපේ‍්‍රල් 20 වැනිදා ධාවනය කරන ලදි.
නිරීක්ෂණ චාරිකාවෙන් පසු 1867 අගෝස්තු මස 01 වැනිදා ප්‍රථම මඟී දුම්රිය කොළඹ සිට මහනුවරට ධාවනය කරන ලදී.
මහනුවර දක්වා වන ප්‍රථම දුම්රිය ධාවනය කළ අවදියේදී කොළඹ සහ මහනුවර ද ඇතුළුව තිබු දුම්රිය ස්ථාන සංඛ්‍යාව 11 කි. කොළඹ, කැලණිය, මහර (රාගම) හෙනරත්ගොඩ (ගම්පහ) වේයන්ගොඩ අඹේපුස්ස, පොල්ගහවෙල, රඹුක්කන, කඩුගන්නාව, පේරාදෙණිය හා මහනුවර එම දුම්රිය ස්ථානය.
කොළඹ - මහනුවර දුම්රිය සේවය වැඩිකල් නොගොස් මඟී ජනතාව අතර ඉමහත් ජනපි‍්‍රයත්වයට පත්විය.